ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාරික ආයතනයක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගම (Rakna Arakshaka Lanka Ltd.) වෙත ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා විසින් 2026 අගෝස්තු මස 25 වන දින නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී සමාගමේ වත්මන් මෙහෙයුම්, ක්‍රියාකාරකම් සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සමාගමේ වත්මන් මෙහෙයුම්, ක්‍රියාත්මක වන ව්‍යාපෘති, ආරක්ෂණ සේවා, සාගරික ආරක්ෂණ කටයුතු සහ ඉදිරි උපායමාර්ගික සංවර්ධන සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
එහිදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අමතමින්, ආයතනයේ ප්‍රගතිය සහ සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් දක්වන කැපවීම අගය කළ අතර, සමාගම වෙත තබා ඇති ඉදිරි ඉලක්ක සහ අරමුණු සාර්ථකව සාක්ෂාත් කර ගැනීම සඳහා තවදුරටත් වෘත්තීයභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
තවද, රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රක්නා ආරක්ෂක ලංකා සමාගම ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථික සංවර්ධනයට ද ලබා දෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, උසස් වෘත්තීය ප්රමිතීන්, කණ්ඩායම් හැඟීම සහ නව්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දීමේ ජාතික ක්‍රියාවලියට ද සමාගම සක්‍රීයව දායක විය යුතු බව පෙන්වා දෙන ලදී.
රක්නා ආරක්ෂක ලංකා සමාගම, ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කාර්මික හා වාණිජ ආරක්ෂණ සේවා, සාගරික ආරක්ෂණ සේවා, විශේෂිත පුහුණු වැඩසටහන් සහ විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින්, ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් ඇතුළු විශාල පිරිසකට රැකියා අවස්ථා සලසන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් ලෙස සිය මෙහෙවර අඛණ්ඩව ඉටු කරමින් සිටී.








